
Thursday, 23 May 2013
අංජනම් බැලීමෙන් අපට ඕනෑදේ සොයාගත හැකිද?
අංජනම් බැලීමෙන් අපට ඕනෑදේ සොයාගත හැකිද?
අංජනම් එළි බැලීම දැනට අභාවයට යමින් පවතින පැරණි ගැමි ගුප්ත විද්‍යාත්මක කාරියකැයි සමහරෙක් සිතති. එහෙත් එය වැරදිය. අද ද කොළඹ නගරය සහ ඒ තදාසන්න ප්‍රදේශවල අංජනම් එළි බලන ස්ථාන සියයට ආසන්න සංඛ්‍යාවක් ක්‍රියාත්මක වෙමින් තිබේ.
කොළඹ නගරය තුළ මේවා ව්‍යාප්ත වී ඇත්තේ අඩු ආදායම්ලාභීන්ගේ ජනාවාස ආශ්‍රිතවය. කොළඹ නගරයට තදාසන්න ප්‍රදේශ අතුරින් අංජනම් එළි බැලිය හැකි ස්ථාන වැඩිම ගණනක් කැලණි ගං මිටියාවත ආශ්‍රිතව දක්නට ලැබේ. අංජනම් එළි බැලීම කෙරෙහි වැඩිපුර යොමු වනුයේ ගැමියන් යැයි සමහරෙක් සිතති. එහෙත් එය ද සත්‍යයක් නොවේ. මා දන්නා එක් කාන්තාවක් පසුගිය දිනයෙක අංජනමක් බැලීම පිණිස කඩුවෙල ප්‍රදේශයේ තැනකට ගියාය. ඒ ඉතා වටිනා විද්‍යුත් ලේඛන සහිත අතුරුදන් වූ තම පරිගණක සැනෙලි ධාවකයක්, (pen drive) පිළිබඳ හෝඩුවාවක් දැන ගැනීමටය. එම කාන්තාව රටේ ප්‍රමුඛතම දුරකථන සමාගමක විධායක නිලධාරිනියකි.
අද බොහෝ දෙනෙකු අඳුන, අංජනම සහ අංජනම් එළිය යන තුනම එකක් සේ සිතති. එහෙත්, මේවා ද එකි'නෙකට වෙනස්ය.
අඳුන හෙවත් අංජනය (collyrium) යනු රූමත් බව , සුවදායකත්වය හෝ නිරෝගී බව තකා දෙනෙත් ආශ්‍රිතව කරනු ලබන ගැල්වුමකි. මෙය තලපයක් සේ අඹරා තනා ගන්නා කල්කයක් බව පෙනේ. සඳුන් ශාකය ඇසුරින් තනා ගන්නා කොකුම් අඳුන හෙවත් කුංකාමාංජනයට පැරණි භාරතීය ලලනා රූපලාවන්‍යකරණයේ ප්‍රධාන තැනක් හිමිව තිබේ. එහෙත්, අංජනම (nescient) යනු අරමුණු වශයෙන් අංජනයට වඩා ඉඳුරාම වෙනස් දෙයකි.
අංජනම යනු ගුප්ත විද්‍යා කටයුතු සඳහා යොදා ගන්නා පාංශු, සත්ව සහ ශාක කොටස් එක් කොට අඹරා තනා ගන්නා තලපයක් බඳු කල්කයකි. භාවිතය අතින් එකකට එකක් ඉඳුරාම වෙනස් වුවද නිපදවා ගන්නා ආකාරය සහ බාහිර පෙනුම අතින් අංජනය සහ අංජනම එකකට එකක් ඉතා සමාන බව පෙනෙයි.
නොයෙකුත් ගුප්ත විද්‍යා කටයුතු සඳහා යොදා ගැනෙන අංජනම් වර්ග සිය ගණනක් තිබේ. අප සමාජයේ බෙහෙවින් ප්‍රචලිත කාල අංජනම හෙවත් කළුවර අඳුන ඉන් එකක් පමණි. මෙම අඳුන හෙවත් කල්කය නළ'ලත ගල්වා ගැනීමෙන් යමකුට අන්‍යයන් ඉදිරියේ නොපෙනී සිටිය හැකි ය යන විශ්වාසයක් අප ජන සමාජයේ තිබේ. එහෙත්, එසේ නොපෙනී සිටීමට නම් මෙම අඳුන ගල්වා සෙස්සන් අතරට යා යුත්තේ 'උපන් ඇඳුමිනි'. මක් නිසාද නොඑසේ නම් මිනිසකු නොමැතිව ඇඳුම් කට්ටලයක් පමණක් ඒ මේ අත සැරිසැරීමේ අද්භූත දර්ශනය අවට සිටින්නවුන්ගේ නෙත ගැටිය හැකි බැවිනි.
අංජනම යනු කල්කයක් හෙවත් තලපයක් නම් අංජනම් එළිය යනු කුමක් දැයි ඔබට සිතෙන්නට පුළුවන. ඉහත සඳහන් අංජනම් විශේෂයකින් ස්වල්පයක් තැටියක ආලේප කොට ඒ ඉදිරිපිට දැල්වෙන පහනක ආධාරයෙන් ඒ අංජනම මත සිත්තම් වන අද්භූත දර්ශන නැරඹීම අංජනම් එළිය නැතහොත් අංජනම් එළි බැලීම ලෙස සරල ලෙස
අර්ථකථනය කළ හැක.
අප ජන සමාජය මෙම අංජනම් එළි බැලීමේ ක්‍රියාවට යොමුවීමට මුල්වන හේතු කිහිපයක් තිබේ. ඒ මෙලෙසිනි.
1. අමතක වීම් නිසා හෝ වෙන යම් ආකාරවලින් නැති වූ සහ සොරුන් විසින් පැහැර ගැනුණු භාණ්ඩ ද්‍රව්‍ය සහ ඒවා පැහැරගත්තවුන් පිළිබඳව දැනගැනීම:
2. අතුරුදන් වූ පුද්ගලයන් පිළිබඳ තොරතුරු දැන ගැනීම:
3. තමන්ට සහ තම පාර්ශ්වයේ අය සඳහා අන්‍යයන් විසින් සිදු කොට ඇති අණ - වින, හදි හූනියම් , ඇස් වහ , කට වහ හෝ වහ දෝෂ ආදිය පිළිබඳව දැන ගැනීම:
4. මිහිතලය ආශ්‍රිතව ස¼ගවා තබා ඇති ධන නිධන් ඇතුළු වස්තුව සහ මැණික් ආදී මිහි තුළ ඇති ස්වාභාවික සම්පත් පිළිබඳව දැන ගැනීම:
5. වෛද්‍ය ප්‍රතිකාරවලින් සුව නොවන සහ නිදන්ගත රෝග පීඩාවලට හේතුන් දැන ගැනීම:
මේ අතර ඉහත සඳහන් එක් එක් කටයුතු සඳහා විශේෂයෙන් සකසා ගත යුතු අංජනම් පිළිබඳව ද සඳහන් වේ. මිහිතලය ආශ්‍රිත රහස් දැන ගැනීම පිණිස පාතාල අංජනම, බහිරව අංජනම ආදී විශේෂිත අංජනම් වර්ග ඇතැයි කියනු ලැබේ.
නමුදු මෙම අංජනම් බැලීම මුල් කොට වෙනම ලියැවුණු පුස්කොළ පොත් ආදී පැරණි අභිලේඛන මූලාශ්‍ර සොයා ගැනීමට මා දැරූ උත්සාහයන් ව්‍යර්ථ විය. ඊට හේතුව එබඳු මූලාශ්‍ර එතරම්ම දුලබ වීමය. නමුදු මන්ත්‍ර ශාස්ත්‍ර පිළිබඳව ලියැවුණු පැරණි පුස්කොළ පොත්වල අංජනම් පිළිබඳව ද යම් යම් කරුණු තිබේ.
ජනවහරට අනුව දිව්‍ය, භූත, ප්‍රේත, නේත්‍ර සූර්ය, විෂ්ණු ආදී වශයෙන් අංජනම් වර්ග රැසක් තිබේ.
ඒවා තැනීම පිණිස යොදා ගනු ලබන සංයෝග එකි'නෙකට වෙනස්ය. ගෝරෝචන, කස්තුරි, නාග පාසානම්, අමු කපුරු, හිරියල්, රන්, වියළි කහ, අත්තන ඇට, පඹුරු, පල්මානික්කම් මෙසේ අංජනම් සඳහා බහුලව යොදා ගැනෙන සංයෝග අතරට ගැනේ. එහෙත්, මෙම අංජනම්වල බලය රැඳී ඇත්තේ සින්ධුරම් ශාස්ත්‍රය (alchemy) හෙවත් පුරාණ රස විද්‍යාත්මක ශාස්ත්‍රය පදනම් කර ගනිමින් නොවේ. මා එසේ කියනුයේ මෙම සෑම අංජනම් බලගැන්වීමකට මන්ත්‍ර ශාස්ත්‍රය ද අවශ්‍ය බව ඉතා පැහැදිලිවම සඳහන් වන බැවිනි.
ඉහත සඳහන් සත්ව, ශාක සහ පාෂාණ සංයෝග නිසි පරිදි මිශ්‍ර කොට කිසියම් දේව හෝ යක්ෂ
දිෂ්ටියක් මුල් කොට ජීවම් කරමින් එම සංයෝගය කළු ගලක් මත තබා නිසි පදනමට එනතුරු පස් තෙලින් ඇඹරීමෙන් අංජනමක් තනා ගත හැකි යැයි කියනු ලැබේ. එසේ ඇඹරීමේ දී එය නිසි පදමට ඇඹරී ඇත්දැයි දැන ගත හැකි අපූරු ක්‍රමයක් ද තිබේ. ඒ සඳහා අංජනම ඇඹරීමට පෙර ඇඹරුම් ගල යට රිදී කාසියක් තැන්පත් කළ යුතු ය. එවිට එම අංජනම නිසි පදමට ඇඹරී නිම වූ විට එම ගල යට ඇති රිදී කාසිය එම ඇඹරුණු අංජනම අතරින් අද්භූත ලෙස මතු වී පෙනෙන්නට පටන් ගනී. ඉන්පසු එම අංජනම හෙවත් කල්කය මංජුසාවක හෙවත් හෙප්පුවක සුරක්ෂිතව රඳවා කිළි කුණු නොමැති ස්ථානයක තබාගත යුතු ය.
එමෙන්ම මෙහි ඉහත සඳහන් කළ අංජනම හෙවත් කළුවර අඳුන ඇඹරීමේ දී අසභ්‍ය හෙවත් ප්‍රසිද්ධියේ අනුගමනය කළ නොහැකි පිළිවෙතක් ද පිළිපැදිය යුතු යැයි කියනු ලැබේ. එනම් අඹරන්නාගේ ශරීරය නූල් පටකින් වත් ආවරණය නොවී තිබිම ය. නමුදු අප මේ සම්බන්ධයෙන් එතරම් කලබල විය යුතු නැත. මන්ද මෙවන් අඳුන් සැකසීම හුදු පුරුෂ පාර්ශ්වයට පමණක් උරුම කාරියක් වන බැවිනි.
මෙලෙස අංජනමක් පිළියෙළ කරන විට කිසියම් විශේෂිත
දිෂ්ටියක් මුල් කොට ජීවම් කිරීම ද එක් ක්‍රමයකි. එසේ ශ්‍රී විෂ්ණු
දිෂ්ටිය මුල් කොට අංජනමක් ජීවම් කළ හොත් එම අංජනම් එළිය නිල් පාටින් යුතු වන බව කියැවෙයි. ස්කන්ධ කුමාර දිෂ්ටිය මුල් කොට ජීවම් කළ හොත් එම අංජනම් එළිය දැකිය හැකි වනුයේ රත් පැහැයෙනි. කෙසේ හෝ එවන් ප්‍රබල දේව
දිෂ්ටි මුල්කොට අංජනම් ජීවම් කිරීම තරමක බැරෑරුම් සහ අවදානම් කාරියක් ලෙසින් ද පැරණි සමාජයේ පිළිගැනීමක් තිබි ඇත. ඒ අපගේ එදිනෙදා අවශ්‍යතා උදෙසා අපගේ ප්‍රධාන දෙවිවරුන් කඩේ යැවීමේ අයෝග්‍යතාව සලකා විය හැක.
ඒ කෙසේ හෝ එදා මෙදා තුර අප රටේ මතෛක් අංජනම් එළි භාවිතයේ දී යොදා ගැනෙන පොදු ක්‍රමය වී ඇත්තේ ප්‍රේත අංජනම නමින් වූ පූජනීය නොවන අංජනමක් තනා එය ශ්‍රී රාම වරමින් ජීවම් කිරීම ය. දෙවිවරුන් ලවා වැඩක් පලක් කරවා ගැනීම නුසුදුසු වුවද ප්‍රේතයන් එවැනි කටයුත්තක යොදවා ගැනීමේ එතරම් වරදක් නැතැයි අපේ පැරණි ගැමියන් සිතන්නට ඇත. එසේම ඔවුන් ඒ සඳහා අපගේ වැඳුම් පිදුම්වලට භාජනය නොවන රාම දෙවිඳුන්ගෙන් වරම් හෙවත් අවසර අපේක්ෂා කොට ඇති අයුරු ද අපූරුය. අප රටේ අංජනම් එළි බලන්නවුන්ගේ අසම සම හිතවතා හෙවත් මාර්ගෝපදේශකයා 'හනුමන්තා' ය. ඔහු සමාජ කරළියට පැමිණ ඇත්තේ මෙම ශ්‍රී රාම වරමේ අනුහසිනි.
වාල්මිකී ලියූ රාමායනයෙහි දැක්වෙන අන්දමට ලංකාපුරයේ රාවණා රජු විසින් පැහැර ගෙන එනු ලබන සීතා කුමරිය පිළිබඳ තතු විමසා බැලීමට භාරතයෙන් ලංකා පුරයට පිටත් වන චර පුරුෂයා වනුයේ රාම කුමරුන්ගේ යුද සේනාවේ අධිපති සුග්‍රීව නම් වානර සෙන්පතියා යටතේ සේවය කරන හනුමාන් හෙවත් හනුමන්තා නම් වානර සෙනෙවියාය. එදා ලංකාපුරයේ රාවණ රජුට එරෙහිව රාම කුමරුන්ට ඔත්තු සැපයූ ඔහුට අද ලංකාපුරයේ හුදී ජනයාගේ 'සිල්ලර කටයුතු' වලදී පවා ඔත්තු බලන්නට සිදුවීම එක්තරා අන්දමක ෙදෙවයේ සරදමකි. අංජනම් තිරයේ හනුමන්තාට අමතරව රඟ දෙන සෙසු චරිතය අංජනම් දේවියයි. ඇය හනුමන්තාගේ මව යැයි කියනු ලැබේ. මා ඉහත සඳහන් අන්දමින් සැකසූ අංජනම තැටියට (වර්තමානයේ නම් පීරිසියක) ගල්වා එය මල් බුලත් පුටුවක තබා ඒ ඉදිරියෙන් පහනක් දල්වා ශ්‍රී රාම වරමින් මෙහි පැමිණෙන ලෙස හනුමන්තාට මන්ත්‍ර මගින් ඇරැයුම් කිරීම මෙම අංජනම් බැලීමේ සාමාන්‍ය ක්‍රියාවලියයි. ඒ අතරේ ඒ පහන ඉදිරියේ වාඩි වී ඇසි පිය නොහෙලා එදෙස බලා හිඳින්නකුට හිටි හැටියේ එම තැටිය මගින් අංජනම් දේවිය සහ හනුමන්තා දැක ගත හැකි වෙයි. ඉන්පසු අංජනම බලන්නා තමන්ට අවශ්‍ය කරණය කී විට හනුමන්තා ඒ ඔස්සේ තම නිරීක්ෂණ කටයුතු සඳහා ගමන් අරඹනු අංජනම බලන්නාට පෙනේ. අන්න හනුමන්තා අඩි පාරක් දිගේ යනවා. අන්න තුන්මං හන්දියකින් හැරුණා අන්න එතන තියන තට්ටු තුනේ බිල්ඩිමකට ඇතුළු වුණා. ආදී වශයෙන් අංජනම් බලන්නා එම අංජනම තුළින් මැවී පෙනෙන රූපය තමන් අද්දර සිටින්නවුන් හට විස්තර කර දීම මේ සම්බන්ධ පොදු ක්‍රියාවලියයි. සාමාන්‍යයෙන් අංජනම් ඇදුරෝ අංජනම් නොබලති. ඒ ඇදුරකු වීම නිසාම ඔවුනට අංජනම් නොපෙනෙන බැවිනි.
බොහෝ විට අංජනම් එළි පෙනෙනුයේ ළමුන්ට සහ කතුන්ට බව පෙනේ. එසේම දේව , මනුෂ්‍ය, රාක්ෂ යන කේන්ද්‍රයේ ඇති ගණ අතුරින් අංජනම් පෙනෙනුයේ මනුෂ්‍ය ගණයට අයත් වූවන්ට පමණක්ය යන මතයක් ද සමහරුන් අතර තිබේ. එහෙත්, සමහරකු පවසන්නේ එම කතාවේ ශාස්ත්‍රීය පදනමක් නොමැති බවකි. තවද සුනඛයන් සපා කෑ, සර්පයන් දෂ්ට කළ ඌරු මස් වැනි ආහාර අනුභව කළ හා කිළිකුණු සහිත වූවනට මෙම අංජනම් නොපෙනෙන බව ද මා අසා ඇත. එමෙන්ම මීට වසර තිහ හතළිහකට පෙර ඉරිදා පුවත්පත්වල ලුහුඬු දැන්වීම් තීරයන්හි රැකියා ඇබෑර්තු යන සිරස යටතේ අංජනම් එළි පෙනෙන ළමයකු හෝ කාන්තාවක ඕනෑ. ඉහළ ගෙවීම් කරනු ලැබේ. ආදී දැන්වීම් ද වරින් වර පළ වූ අයුරු ද අපට මතකය. අතීතයේ මෙම අංජනම් බැලීම් සඳහා යොදා ගැනුණේ රාත්‍රී කාලය පමණි. නමුදු දැන් දැන් කට්ට දවාලේ ද මෙම අංජනම් බැලීම් කරනු ලැබේ. ඉහත සඳහන් සියලු කරුණු ඒකරාශී කොට ඒ සම්බන්ධයෙන් විමසා බලන විට මට හැඟී යන කරුණක් තිබේ.
එනම් මෙම අංජනම් එළි බැලීම යනු හුදෙක් මෝහනමය ක්‍රියාවක් මගින් යටි සිත අවදි කරවීමක් පමණක් බවය. එබැවින් ඒවායින් පැවසෙන කරුණු නිවැරදි වෙතොත් ඒ කණා බල්ලන් ගැසීමේ න්‍යාය අනුව පමණක් බව ද මගේ විශ්වාසයයි. ඒ කතා පසෙක තිබියදී අද අප රට පුරා ඇති දහස් ගණන් අංජනම් එළි බලන ස්ථානවල ඇදුරන් සහ ඒවා බලන කතුන් අංජනම් බැලීම සඳහා මෙම කල්කය තනා ගනුයේ කෙසේද? යන්න ද මට කොහෙත්ම විසඳාගත නොහැකි ගැටලුවකි. අංජනම හෙවත් කල්කය වෙනුවට සම මතු පිට කැපීම්, සීරීම් ආසාදන සඳහා යොදන බොහෝ දෙනකු 'දම් බෙහෙත්' නමින් හඳුන්වන ජෙන්සන් වයලට් (Jensen violet) නම් ආලේපනය පීරිසියක ගැල් වූ මම මීට වසර දොළහකට පෙර වයස අවුරුදු දහසයක පිරිමි ළමයකු ලවා අංජනම් එළියක් බැලවීමි. ඒ අවස්ථාව සඳහා ඇහැටුවැව, දිවුල්ගනේ පුරාණ දිඹුලාගල රජ මහා විහාරාධිපති ශාස්ත්‍රපති පූජ්‍ය ගලහිටියාවේ සිරිරතන හිමියෝ ද එක්ව සිටියහ. එහිදී ද එම දරුවා ඉදිරියේ අංජනම් දේවිය සහ හනුමන්තා ප්‍රාදූර්භූත විය. ඉන් පසු විනාඩි දහයක පහළොවක කාලයක් තුළ අප තේරුමක් නොමැති සවාරියක් රැගෙන යාමට ද හනුමන්තා සමත් විය. ඒ අනුව මෙම පරීක්ෂණයෙන් පසු ගන්නා ලද ඒ සම්බන්ධ එක් නිගමනයකින් මෙම සටහන නිමා කිරීමට මම කැමැත්තෙමි. එනම් ඔබටත් අංජනම් එළියක් බැලීමට අවශ්‍ය නම් ඒ සඳහා පැරණි අංජනම් කල්කයක් තනා ගැනීමට වෙහෙසිය යුතු නැත. මන්ද යත් එම කටයුත්ත සඳහා ජෙන්සන් වයලට් වුව අති සාර්ථක ලෙසින් යොදා ගත හැකි බැවිනි.

Labels:
විශේශාoග
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment