Thursday, 13 June 2013
ඉල්ලු ආදරය නොදුන් නිසා තරුණිය මරා වැසිකිලි වලට දම
ඒ 2008 ජනවාරි දහඅට වැනිදාය. වේලාව උදෑසන හතට පමණ ඇත. රෝෂිණී රැකියාව සඳහා පිටත්වීමට සූදානම්ව සිටියාය.
“මම...ගිහින් එන්නම් අම්මේ...”
සිය මවටත් පියාටත් වැඳ අවසර ලබාගත් ඇය කඩිමුඩියේ පා තැබුවේ ඉක්මණින් රැකියා ස්ථානයට යාමට අවශ්‍ය වූ බැවින්ය.
දියණිය නිවෙසින් පිටව ගිය පසු රෝෂිණීගේ මව විවියන් සිය රැකියාව සඳහා පිටත්ව ගියාය. ඇය මාකේවිට සමූපකාරයේ සේවය කරන්නීය. රැකියාවට ගොස් පැයකට පමණ පසු ඇයගේ ජංගම දුරකථනයට ඇමතුමක් ලැබිණි. ඒ රෝෂිණී සේවය කළ බැංකුවේ තරුණියකගෙනි.
“රෝෂිණී අද වැඩට ආවද?”
ඇමතුමේ අනෙක් කෙලවර සිටි තරුණිය විමසුවාය.
“ඇයි තවම ආවේ නැද්ද...දුව ගෙදරින් ආවා...තව ටිකක් බලන්න... ළඟම එනවා ඇති...”
රෝෂිණීගේ මවගෙන් ලැබුණු තොරතුරත් සමඟ ඇය ඇමතුම විසන්ධි කළාය. විනාඩි කිහිපයකට පසු රෝෂිණීගේ මව දියණිය සේවය කළ බැංකුවට කතා කරමින් දියණියගේ පැමිණීම ගැන විමසා සිටියාය.
එහිදීි දැනගන්නට ලැබුණේ ඒ වන විටත් රෝෂිණී සේවයට වාර්තා කර නැති බවය.
බියට පත් රෝෂිණිගේ මව සේවා ස්ථානයේ සිට නිවෙසට පැමිණ සැමියාටත් ගෙදර අයටත් මේ බව දන්වා සිටියාය.
“අපි බැංකුවට ගිහින් බලමු...”
සියලුදෙනාගේම ඒකමතික තීරණය වූයේ රෝෂිණී සේවය කළ බැංකුව වෙත ගොස් ඇය පිළිබඳ සොයා බැලීමයි. එහිදී ද ඔවුන්ට නැවතත් දැනගන්නට ලැබුණේ රෝෂිණී සේවා ස්ථානයට නොපැමිණි බවයි. රෝෂිණීට කුමක් හෝ අනතුරක් සිදුවී ඇතැයි තීරණය කළ නිවැසියන් කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයටත් බාහිර රෝගී අංශයටත් ගොස් ඇයට කිසියම් කරදරයක් වී ඇත්දැයි සොයා බලන්නට වූයේ ඉන් අනතුරුවය. එහිදී ද ඔවුන්ට දැකගන්නට ලැබුණේ රෝෂිණී රෝහලට ඇතුළත් කර නැති බවය. අවසානයේ රෝෂිණීගේ අතුරුදන්වීම පිළිබඳ ගම්පහ පොලිසියට පැමිණිලි කළ ඔවුහු දියණිය සෙවීමේ අදහස අත් නොහරිමින් ඇය ගැන සොයා බලන්නට වූහ.
දියණියගේ අතුරුදන්වීම පිළිබඳ රෝෂිණීගේ මාපියන් ප්‍රදේශයේ හිතවතුන්ගෙන් ද විමසන්නට වූහ. ඒ දියණිය උදෑසන බස් නැවතුම් පළ අසල රැඳී සිටිනු දුටුවාදැයි දැනගන්නටය.
“අපි වෙනදට නම් දකිනවා...ඒත් අද නම් දැක්කේ නැහැ...”
ප්‍රදේශයේ ත්‍රීවීල් රියැදුරෝ ද කීීහ. දියණිය වෙනුවෙන් බාරහාර ද වූ විවියන් නිවෙසට පැමිණ නැවතත් ප්‍රදේශවාසීන් සමඟ දියණියගේ අතුරුදන්වීම පිළිබඳ කතා කරන්නට වූවාය. ඒ කතා බහ අතරතුර විවිධ අදහස් වූහ.
“අක්කේ...මම උදේ දරුවා ඉස්කෝලෙ අරගෙන යද්දී වතුර ටැංකිය ළඟ අලුත්ම සෙරෙප්පුවක් තියෙනවා දැක්කා...”
කාන්තාවක් කී දෙයින් විවියන් කලබලයට පත් වූවාය. ඒ පිළිබඳ සැක පහළ කළ විවියන් ඇගෙන් තවත් තොරතුරු විමසන්නට වූවාය. එවිට දැනගන්නට ලැබුණේ වැටුණු සෙරෙප්පුව තවත් දැරියන් දෙදෙනකු ද දැක තිබෙන බවය. එහෙත් කාන්තාව දරුවා පාසලට ඇරලවා එද්දී සෙරෙප්පුව එම ස්ථානයේ තිබී නැත.
“උදේ ගෑනු ළමයෙක් ළතෝනි තියන සද්දයක් මටත් ඇහුණා...”
තවත් හෝඩුවාවක් හෙළි කරමින් එතෙක් නිහඬව සිටි තවත් කාන්තාවක් කියන්නට වූවාය.
ඔවුහු මේ සියලු කරුණු කාරනා ගම්පහ පොලිසියට කීහ. මෙම තොරතුරු පැවසීමට යද්දී වෑන් රථයේ ගමන් කළ අයකුට ලැබුණු නිර්නාමික ඇමතුමක් ගැනද කාගේත් අවධානය යොමු විය.
“ඔයගොල්ලෝ ඔහේ යනවා...ඒත් සිද්ධිය වුණේ මෙහේ...”
කාරණා සියල්ල පොලිසියට පැවසූ පිරිස මෙමඟින් පොලිස් නිලධාරීන්ට ද යම් හෝඩුවාවක් ලබාදුන්නේය. අනතුරුව පොලිස් ස්ථානාධිපතිවරයාගේ මූලිකත්වයෙන් පරීක්ෂණ කණ්ඩායමක් මාකේවිට ප්‍රදේශයට පිටත්කර යැවීය.
ප්‍රදේශයේ සැරිසැරූ නිලධාරීන් සෙරෙප්පුව දුටු බව කියන කාන්තාවගෙන් සහ එය දුටු බව කියන දැරියන් දෙදෙනාගෙන් ද ගැහැනු ළමයකු කෑගසනු බව ඇසුණු කාන්තාවගෙන් ද දිගින් දිගටම ප්‍රශ්න කරන්නට විය. ප්‍රශ්න කිරීම අතරවාරයේ පොලිසියට තවත් වැදගත් හෝඩුවාවක් ලැබිණි. ඒ පන්සලක ආවතේව කටයුතු කළ අයකුගෙනි.
“මම උදේ කඩේ යනකොට ගෑනු ළමයෙක් කෑගහනවා ඇහුණා..මම ටිකක් සෝදිසි කරලා බලද්දී එයාව වත්තට ඇදගෙන යනවා දැක්කා..”
පොලිසියට ලැබුණු එම හෝඩුවාවත් සමඟ ඒ ආසන්නයේ පිහිටි සියලුම නිවැසියන්ගෙන් ප්‍රශ්න කරන්නට පොලිසිය තීරණය කළේය.
අම්බරුක්ඛාරාම විහාරය ඉදිරිපිට ඇති නිවෙසක ජීවත් වූ පෞද්ගලික ආයතනයක ගබඩා කම්කරුවකු ලෙස සේවය කළ විසි පස් හැවිරිදි තරුණයකුගෙන්ද පොලිසිය ප්‍රශ්න කළේ ය. පිළිතුරු දීමේදී ඔහු පොලිසියේ සැකයට භාජනය විය.
“තමුන් මේ ගෑනු ළමයා උදේ මේ පාරෙන් යනවා දැක්කද?”
“ඔව්...සර් පන්සලත් පහුකරගෙන යනවා දැක්කා...ඒත් කෑගහන සද්දයක් නම් ඇහුණේ නැහැ....”
තරුණයාගේ පිළිතුර විය.
“එතකොට තමුන් අද නැගිට්ටේ කීයට විතරද?”
“මම උදේ හයට විතර නැගිට්ටේ...”
“ඇයි අද වැඩට ගියේ නැත්තේ...”
“මගේ උගුරේ අමාරුවක් හැදිලා අද වැඩට ගියේ නැහැ”
ඉතා සූක්ෂම ලෙස ප්‍රශ්න කළ පොලිස් නිලධාරීන්ට ඔහුගේ පිළිතුරු දීම හමුවේ යම් සැකයක් ඇති විය. ඒ අනුව සෙරෙප්පුව දුටු තිදෙනාත් කෑගැසීම් ඇසුණු අයත් පන්සලේ ආවතේවකරුත් විසිපස් හැවිරිදි තරුණයාත් පොලිසියට රැගෙන ගියේ තවදුරටත් ප්‍රශ්න කිරීම සඳහාය. ඔවුන් වෙන වෙනම තබා ප්‍රශ්න කරන්නට පොලිස් නිලධාරීන් තීරණය කළහ.
ඒ අතරින් තරුණයාගේ ප්‍රකාශ පරස්පර විරෝධී බව නිලධාරීන්ට ඒත්තු ගැන්විණි. එම තරුණයා හැරෙන්නට අනෙක් අය පොලිසියෙන් මුදා හැරියේ රාත්‍රී අටට පමණය. අළුයම වනතුරුම සැකකරුගෙන් ප්‍රශ්න කළ පොලිසියට සිද්ධිය තහවුරු කරගත හැකිවිය. ඒ සැකකරු අතින් රෝෂිණී ඝාතනය වූ බව හෙළි වුණේ ඉන් පසුවය. පොලිසියේ දැඩි ප්‍රශ්න කිරීම් හමුවේ සිද්ධියේ සුලමුල ඔහු මෙසේ කියන්නට විය.
“සම්පත් කියලා මගේ යාලුවෙක් ඉන්නවා...එයාගේ තාත්තගේ අක්කගේ දුව තමයි රෝෂිණී. මම මුලින් එයාගේ නම දැනගෙන හිටියේ නහැ. මට එයත් එක්ක ප්‍රේම සම්බන්ධයක් ඇතිකරගන්න ඕන වුණා. මට එහෙම හිතුණේ දවසක් මම යාළුවෙක් එක්ක බයික් එකක යනකොට මගේ පර්ස් එක වැටුණා. ඒ වෙලාවේ එයා මගේ පර්ස් එක අහුලලා දුන්නා. මේ සිද්ධියෙන් පස්සේ තමයි මට එයත් එක්ක යාලු වෙන්න හිතුණේ...පස්සේ මම එයත් එක්ක කතා කරන්න ගත්තා...”
“මම රෝෂිණීගෙන් කීප සැරයක්ම කැමැත්ත ඇහුවා...ඒත් එයා මට කැමති වුණේ නැහැ...දවසක් මට ජා ඇල දි රෝෂිණීව හම්බ වුණා...මම ඒවෙලාවෙත් එයාගේ පස්සෙන් ගියා. ඒ වෙලාවෙ මට එයා මිනිස්සු ඉස්සරහම කම්මුලට ගැහැව්වා...”
“මම එයාගෙන් තුන් හතර පාරක් විතර යාලු වෙන්න ඇහුවා. ඒත් එයා මට කැමති වුණේ නැහැ. ඒ 2008.01.18 වෙනිදා. මම අසනීප නිසා එදා වැඩට ගියේ නැහැ. උදේ හතට විතර මම පාරට වෙලා ඉන්නකොට එයා පාරෙන් ගියා. ඒ වෙලාවෙදිත් එයාගෙන් මම කැමැත්ත ඇහුවා. එතකොට එයාමට කිව්වා තමුසෙට මතක නැද්ද එදා ගහපු පාර කියලා...එදත් එයා මට සෙරෙප්පුවෙන් ගහනකොට බෙල්ලෙන් අල්ල ගත්තා. එතකොට එයා මගේ අත හැපුවා. ඊට පස්සේ එයා කෑගැහුවා. අපේ ගෙවල් ළඟ ඉන්න තිස්ස මගෙන් ඇහුවා මොකක්ද ඒ සද්දෙ කියලා...මම කිව්වා නෑ මුකුත් නෑ කියලා...පස්සේ තිස්ස යන්න ගියා.
මට හිතුණා එයා මැරුණා කියලා...පස්සේ තමයි වැසිකිළි වළ ඇතුළට දැම්මේ...මම එතැනදීත් ඇහුවා මට කැමත්ත දෙනවද කියලා...එයා කකුලෙ තිබුණ සෙරෙප්පුව ගලවලා අරගෙන මගේ කම්මුලට ගැහැව්වා...මම හොඳටම කේන්ති ගියා. ඒ වෙලාවේ මම රෝෂිණිගේ බෙල්ලෙන් අල්ලලා කෑ ගහද්දිම වත්තට ඇදගෙන ගියා. ටික වෙලාවකින් රෝෂිණීගෙ කෑගැහිල්ල නැවතුණා. ටිකකින් බෙල්ල කඩාගෙන වැටුණා. රෝෂිණී මැරුණා කියලා මට හිතුණා. වත්තේ තිබුණ පරණ වැසිකිළිවල ළඟට ගිහිල්ලා එයාව ඒකට ඇතෑරියා...”
“පස්සේ මම ටිකක් නිදාගෙන ඉඳලා ආපහු ඒ වැසිකිළිය ළඟට ගිහිල්ලා එතැන තිබුණ වහලය නොතිබුණ වැසිකිළියේ බිත්ති කඩලා වළ ඇතුළට දාලා වට පිටේ තිබුණ කෙසෙල් ගසුත් කපලා වළ ඇතුළට දැම්මා...”
සිදුවූ සිද්ධිය සියල්ලම නොවලහා ඔහු පාපොච්චාරණය කරන්නට විය.රෝෂිණී පැළඳ සිටි චේන් පට සහ ඇගේ ජංගම දුරකථනය ළඟින් ඇසුරු කරන මුස්ලිම් තරුණියකට ලබාදුන් බවද ඔහු කීවේය.
සැකකරුගේ පාපොච්චාරණයත් සමඟ රෝෂිණීගේ මළ සිරුර ගොඩගනු ලැබුවේ ඇය හැඳසිටි රෝස පැහැති සාරිය පිටින්මය. ඇයගේ අත් බෑගය, වතුර බෝතලය, කුඩය ආදී භාණ්ඩ ද සොයා ගනු ලැබුවේ ඉන් පසුවය. රෝෂිණිගේ ජංගම දුරකථනය ළඟ තබාගෙන සිටි තරුණිය ද පොලිසිය මඟින් අත්අඩංගුවට ගනු ලැබීය.
ඝාතනය වූ විසිහතර හැවිරිදි වියේ පසු වූ ඇය ජාඇල මාකේවිට ප්‍රදේශයේ පදිංචිව සිටියාය. නාපින් වික්‍රමාරච්චි ඇයගේ පියාය. විවියන් ගුණසේකර ඇගේ මවය. මීගමුව නිව්ස්ටඩ් බාලිකා විදුහලෙන් අධ්‍යාපනය ලැබූ ඇය සහෝදරියන් දෙදෙනකුගේ වැඩිමල් සොහොයුරිය වූවාය. රෝෂිණී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ බාහිර කළමනාකරණ උපාධිය ද හදාරමින් සිටියාය. මේ අතර ඇයට කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ බැංකුවක රැකියාවක් ලැබිණි. ඒ පරිගණක පුහුණු ක්‍රියාකරන්නියක් ලෙසින්ය. රෝෂිණීගේ පියා මාකේවිට සමූපාකාරයේ කළමනාකරුවකු වශයෙන් සේවය කරමින් සිටියදී අසනීප වූ බැවින් එහි කළමනාකාරීත්වය රෝෂිණීගේ මව බාර ගෙන තිබුණාය.
රෝෂිණීගේ නැගණියන් දෙදෙනාගෙන් එක් අයකු වැලිසර නාවික හමුදා කඳවුරේ පුහුණුව ලබමින් සිටින්නීය. අනෙක් නැගණිය ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලයෙන් උසස් පෙළ හදාරමින් සිටී. රෝෂිණීගේ මව දුක් මහන්සියෙන් උපයාගත් වැටුපෙන් වැඩි මුදලක් වැයකළේ සිය දරුවන්ගේ අනාගතය ගොඩනැංවීම සඳහාය. ඒ අතරතුර තරුණයකු අතින් වැඩිමල් දියණිය ඝාතනයවීම ඇගේ මාපියන්ට මෙන්ම සහෝදරියන් දෙදෙනාට ද දරාගත නොහැක්කක් වූහ.
කාටත් කරදරයක් නැතිව තමන්ගේ පාඩුවේ ජීවත් වූ මොවුන්ගේ පවුලට වූ විපත ඇසූ මාකේවිට පිරිස මහත්සේ කම්පාවට පත්වූහ. රෝෂිණිගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් සැකකාර තරුණයා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රිමාන්ඩ් බන්ධනාගාරගත කළේය.
කලක් මෙසේ බන්ධනාගාරගතව සිටි සැකකරු 2010 මාර්තු මස 30 වන දා මහාධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබුවේ ඇප අයැදුම්පත පිළිබඳ සලකා බැලීටමටය.
ඊට හේතුව වූයේ සැකකරු වෙනුවෙන් පෙනීසිටි නීතීඥ මහතා අධිකරණයෙන් දීර්ඝ ලෙස ඇප ඉල්ලා සිටීම නිසාය. එයට එරෙහිව රජයේ නීතීඥවරයා කරුණු ඉදිරිපත් කළේය. දෙපාර්ශවයේම කරුණු සැලකිල්ලට ගත් ගම්පහ මහාධිකරණ විනිසුරු විමල් නම්බුවසම් මහතා ඇප සම්බන්ධ නියෝගය 30 වනදා ප්‍රකාශ කළේය. සැකකරුට රුපියල් ලක්ෂ 10 ක් බැගින් වූ පුද්ගල ඇප 03 ක් ද එදින නියම විය. ඇප තබා ගිය ද සෑම සතිඅන්තයකම ඉරිදා දිනයේ සැකකරු ගම්පහ පොලිසියේ අපරාධ අංශය වෙත වාර්තාකළ යුතු බවටද නියෝග ලැබුණේය.
නඩු විභාගය විමසීම පසුගිය ඔක්තෝබර් 28 දිනයේ සිට සිදුවිය. මෙලෙස දිගින් දිගටම ඇදීගිය නඩුවේ චූදිතයාවූ සැකකරු ඉකුත් 30 වනදා ගම්පහ මහාධිකරණයේදී අනියම් මිනීමැරුම් චෝදනාවට තමා වරදකරු බව සිය නීතීඥවරයා මාර්ගයෙන් මහාධිකරණ විනිසුරුවරියට දන්වා සිටියේය. ඒ අනුව විත්තියේ නීතීඥවරයා කියා සිටියේ චූදිතයා මෙය සිතා මතා කළ මිනීමැරුමක් නොවන බවත් සිද්ධිය ගැන පශ්චත්තාප වන බවත් ඔහු වරද පිළිගන්නා බවත්ය. එහිදී රජයේ අධිනීතීඥ නයෝමි වික්‍රමසේකර මහත්මිය කරුණු දක්වමින් කියා සිටියේ 297 චෝදනාව යටතේ චූදිතට චෝදනා ඉදිරිපත් කර ඇති බවත් හදිසිකෝපය මත මෙම මිනීමැරුම සිදුවී ඇති බැවින් මිනීමැරුමක් නොවන අනියම් මිනීමැරුමක් බවට වාර්තා වී ඇති බවත්ය.
විත්තියේ නීතීඥවරයාගේ සහ රජයේ අධිනීතීඥවරියගේ ද කරුණුවලට සවන් දුන් ගම්පහ මහාධිකරණ විනිසුරු පියසීලී වික්‍රමසිංහ මහත්මිය දඬුවම් නියම කිරීම මැයි මස 23 වැනි දිනට කල් තැබුවේය.
ඉන්පසුව රෝෂිණී ඝාතනයේ වරදකරු වූ ඔහුට බරපතල වැඩ ඇතිව වසර 20 ක සිරදඬුවමක් සහ රුපියල් 20000/- ක දඩයක් ද ගෙවන ලෙස ගම්පහ මහාධිකරණ විනිසුරුතුමිය නියෝග කළේ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කරමින්ය. එම දඩය නොගෙවන්නේ නම් තවත් අවුරුදු දෙකක සිර දඬුවමක් නියමකරන බවද ඇය නියෝග කළාය.
රෝෂිණීගේ ජංගම දුරකථනය සහ රන්මාලය තමාට ත්‍යාග වශයෙන් ලබාදුන් බව නඩු විභාගයේදී තරුණියක් සාක්කි දෙමින් කියා සිටියාය.
කෙසේ වෙතත් රෝෂිණීගේ ඝාතකයාට අද නීතියේ දඬුවම් හිමිව ඇත. එහෙත් ඇගේ නිවෙසේ අඩුව පුරවන්නට ඇය යළිත් කිසිදාක ඇගේ මාපිය සහෝදරියන් අතරට එන්නේ නැත.
Labels:
දේයියෝ සාක්කි
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment