Tuesday, 16 July 2013
බල්ලන් එකොළහක් සමග කතක් රැය පුරා මෝටර් රථයක
මාතර, ගාලු පාරේ වල්ගම හන්දියේ සුඛෝපභෝගී මෝටර් රථයක බල්ලන් එකොළහක් පමණ නංවාගත් කතක් වීදුරුව වසාගෙන ඊයේ (25) හවස සිට අද (26) උදේ 8.30 පමණ වෙනතුරු සිටි බව පැවසේ.
ඊයේ සවස එම ස්ථානයට පැමිණ නැවතූ රථයේ සිටි බල්ලන්ගේ සහ කාන්තාවගේ හැසිරීම සැක සහිත වූ බැවින් අවට වාසීන් එම රථයේ රෝදවල හුළං යවා ඇත. කාන්තාව රථයෙන් බිමට බැස නැත.
රථයේ ආසන සියල්ල බල්ලන් විසින් සපා ඉරා දමා තිබූ අතර ඉඳහිට මෙම කාන්තාව රියදුරු අසුන පැත්තේ වීදුරුව පහත් කළාය. ඒ සමග රථය තුළින් ඉවසිය නොහැකි දුඟඳක් වහනය වන්නට විය. ඇය හැඳ සිටියේ ඉතා කෙටි රෙදිකඩක් වැනි වස්ත්‍රයකි.එබැවින් ඇගේ දෙපා සම්පූර්ණයෙන් නිරාවරණය වී තිබිණ. ඇය කා සමගවත් කතා කළේද නැත. රථයේ ආසන මත බලු පැටවුන් දකින්නට ලැබුණ අතර උන්ට බැල්ලියන් විසින් කිරි දෙනු දකින්නට ලැබිණ.බල්ලන් ඉතා රෞද්‍ර උන් බැවින් කිසිවෙක් රථය අසලට ගියේ නැත. සවස් වනවිට එක් බල්ලෙක් රථයෙන් පිටතට පැමිණීම නිසා ජනතාව දුරස් වී සිද්ධිය බලා සිටින්නට වූහ.
මෙම කාන්තාවට ගමන් කරන්නට නොහැකි වූයේ රෝද හතරෙම හුළං යවා තිබූ බැවින් ය. ඇය අත ජංගම දුරකතනයක් තිබුණ බවක් දකින්නට නොලැබිණ. ගත වූ මුළු රාත්‍රිය පුරා ඇය සුනඛයන් ද සමග රථය තුළ රැඳී සිටි අතර අද උදේ වනවිට මෙම අරුම පුදුම කාන්තාව හා ඇගේ බලු රෑන බලන්නට දහසකට අධික ජනතාවක් රැස් වී සිටියහ. ඒ නිසා ගාලු පාරේ වල්ගම හන්දියේ දැඩි වාහන තදබදයක් ඇති විය.
එම අවස්ථාවේ මාතර පොලිසියේ නිලධාරින් පිරිසක් පැමිණ වාහන තදබදය නැතිකර කාන්තාවගෙන් ප්‍රශ්ණ කළහ. ඇගෙන් කිසියම් වරදක් සිදු වී නැති බව තේරුම්ගත් පොලිස් නිලධාරින් රථයේ රෝදවලට හුළං පුරවා දී ඇයට ගමන් කරන්නට අවසර දුන්නේය.
කාන්තාවගේ ඥාතිවරියක්ද එම අවස්ථාවේ ස්ථානයට පැමිණ පොලිස් නිලධාරින්ට මෙම කාන්තාවගේ අනන්‍යතාව තහවුරු කර දුන්නාය.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment