
ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ ඇතැම් නිලධාරීන්ට නොවටිනා පුද්ගලයකු බඳු වූ ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ හිටපු සභාපතිවරයකු ලෙස කලක් කටයුතු කළ මහාචාර්ය රංජිත් ද සිල්වා මහතා මලයාසියාවේදී පසුගියදා පැවැති ලෝක බැඩ්මින්ටන් සම්මේලනයේ (ඕඑජ්) නිලවරණයේදී 2013-17 දක්වා පත්කර ගැනුණු විධායක සභාවට දෙවැනි වරටත් තේරීපත්වීම මුළු ශ්‍රී ලංකාවම ලැබූ ගෞරවයකි.
රටවල් 150ක් පමණ සහභාගි වූ මෙම නිලවරණයේදී රංජිත් ද සිල්වා මහතා ඡන්ද 164ක් ලැබුවත් මෙම නිලවරණයට ඉදිරිපත්වූ ශ්‍රී ලංකා නියෝජිතයා මහාචාර්යවරයාට ඡන්දය ලබා නොදුන් බවද වාර්තා විණි.
මේ සම්බන්ධයෙන් මහාචාර්ය රංජිත් ද සිල්වා මහතා මලයාසියාවේ සිට "මව්බිම"ට පැවැසුවේ "මට මේ තනතුර සඳහා ලංකාව උදවු කළේ නැහැ. ලංකාවෙන් සහභාගි වුණ නියෝජිතයා මාත් එක්ක කතා කළා. ඒත් මට උදවු කරන අදහසක් නැති බව මට තේරුම් ගියා." යනුවෙනි.
"2009 සිට 2013 වසර දක්වාත් මම ලෝක බැඩ්මින්ටන් සංගමයේ විධායක සභාවේ හිටියා. ඒ කාලෙ මම මගේ කාර්යය හොඳින් කළා කියලා ඒ අය මාව ඇගැයීමට පවා ලක්කළා. මම අප්‍රිකානු ජාතීන් වෙනුවෙන් කටයුතු කරන කාලේ සැම්බියා බැඩ්මින්ටන් සංමයේ සභාපතිවරයකු වෙලා හිටියා. ඒ වගේම මම අප්‍රිකානු බැඩ්මින්ටන් සංගමයේ උප සභාපතිවරයකු වෙලත් හිටියා. මේ නිසයි සැම්බියාව මාව මෙම තනතුරට යෝජනා කරලා තිබුණේ. සැම්බියාව කරපු යෝජනාව ඇෆ්ගනිස්ථානය ස්ථිර කළා" යනුවෙන්ද පැවැසීය.
ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගම් නිලවරණයේදී සිදුවූ අසාධාරණය පිළිබඳව ශ්‍රී ලංකා බැඩ්මින්ටන් බලධාරීන්ට එරෙහිව යම් වැඩපිළිවෙළක් ගන්නවා දැයි විමසූ අවස්ථාවේදී ඔහු පැවැසුවේ "නැහැ. මේ ප්‍රශ්නය ජාත්‍යන්තරයට ගෙනාවොත් ඒක බරපතළ ප්‍රශ්නයක් වෙනවා. ඒක නිසා පුළුවන් තරම් උත්සාහ ගන්නවා ප්‍රශ්නය හොඳින් නිරාකරණය කරගන්න. ඒ අය ඡන්ද හොරකම් කළා. ඒ සම්බන්ධයෙන් අපි මානව හිමිකම් කොමිසමටත් පැමිණිලි කළා. කොහොම වුණත් මම ලංකාවට ආවහම ක්‍රීඩා අමාත්‍යංශයට කියනවා ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමය පැවැත්වූ නිලවරණය අවලංගු කරන්න කියලා. මම ලංකාවේ බැඩ්මින්ටන් වෙනුවෙන් ඉදිරියේදී හෝ යමක් කරන්න කැමැතියි. ඒත් ඒකට මට ඒ අය ඉඩ දෙන්නේ නැහැ." යනුවෙන්ද සඳහන් කළේය.
No comments:
Post a Comment